‘අපට ලොකු අනතුරක් ගැන ඉව වැටිලා තියෙනවා. ස්මාට් ෆෝන් නිසා. ස්මාට් ෆෝන ඇබ්බැහිය දැන් වෙනදාට වඩා ලොකු ප්‍රශ්නයක් වෙලා. දුම්වැටි, මත්ද්‍රව්‍ය, මද්‍යසාරවලට වඩා මේ ස්මාට් ෆෝන ඇබ්බැහිය මිනිසාට අහිකර තත්වයක් උදා කරාවි කියලයි, අපට හිතෙන්නේ. ඒ නිසා අපි ඔක්කොම තීරණය කළා අඩු ම තරමින් අපේ ස්මාට් ෆෝන නිදන කාමරයට වැද්ද නොගන්න‘ මෙසේ කියන්නේ සමාජ මාධ්‍ය සඳහා භාවිතයට මෘදුකාංග නිර්මාණ කර දුන් විශිෂ්ට පරිගණක විශේෂඥයකු වූ ට්රයිස්ටාන් හැරිස් (Tristan Harris) කියයි. ඔහු කලින් ගූගල් සමාගමේ ප්‍රධාන සැලසුම්කරුවෙකි. දැන් ‘සෙන්ටර් ෆෝ හියුමන් ටෙක්නොලොජි‘ ආයතනයේ සමාරම්භක හවුල්කරුවායි.
ඔහුගේ මේ අදහස තහවුරු කරන්න ඇමරිකාවේ සිලිකන් නිම්නයේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකුත් ඉදිරිපත් වී සිටියි. ෆේස්බ්ුක් උප සභාපති වරයකුව සිටි ඔහු පරිගණක ව්‍යවසායක බිලියනපති චමත් පලිහපිටිය යි. කැනඩාවේ පදිංචිව සිටින ඔහු කියන්නේ ‘මිනිස් ඉතිහාසයේ මෙතෙක් වැඩිම ආදායමක් උපයා ඇත්තේ ඉන්ටර්නෙට් සමාගම් තමයි. ඔවුන් මේ තරම් ධනස්කන්ධයක් උපයන්නේ මොනවා විකුණලාද? ඔවුන් විකුණන්නේ අන්තර්ජාලය පරිහරණය කරන ඔබවයි. ලෝකයේ කර්මාන්ත අතරින් තමන්ගේ පාරිභෝගිකයන් Users හෙවත් පාවිච්චි කරන්නන් කියා හඳුන්වන්නේ ව්‍යාපාර දෙකක් විසින් පමණයි. ඒ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මෘදුකාංග ව්‍යාපාරකරුවන් පමණයි. සමාජ මාධ්‍ය භාවිත කරන ඔබ වැටී ඇති තත්වය තේරුම් ගැනීමට එයම ප්‍රමාණවත්. දැන්වීම් කරුවන්ට ඔවුන්ගේ දැන්වීම් ඔබට පෙන්වනවා කියා මුදල් ගැරීම තමයි ඔවුන් කරන්නේ. ඔබ එහිදී ගැනුම්කරුවා නොවෙයි. අන්තර්ජාල සමාගම්වලට අනුව ඔබ ඔවුන්ගේ ‘ප්‍රොඩක්ට්‘ එකයි. ඔබ නො දැනුවත්වම ඔවුන්ගේ අතකොළුවක් වෙලා ඉවරයි. මේ සියල්ලට ම මුල ස්මාට්ෆෝනය තමයි.‘ කියායි.
මීට හරියටම වසර 30කට පමණ ඉහත දී ආචාර්ය ආතර් සී. ක්ලාක්ගේ බාන්ස් පෙදෙසේ නිවසේ ඓතිහාසික උත්සවයක් පැවැත්වුණේය. දිනය 1994 නොවැම්බර් 25 වැනිදා ය. එය අද අපට හොඳට හුරුපුරුදු ‘එච්ඩී ටෙලිවිෂන් (අධි රූපණ රූපවාහිනි) තාක්ෂණය‘ මුල්වරට ලොවට හඳුන්වා දීමට පැවති උත්සවය විය. ඒ වන විට ආචාර්ය ආතර් සී. ක්ලාක් ශ්‍රී ලංකාවෙන් පිටත නොයන්නට තීරණය කර තිබුණු නිසා එතුමාට උපහාරයක් වශයෙන් ජපානයේ පවත්වන්නට යෙදුනු එම උත්සවය එතුමාගේ ප්‍රධානත්වයෙන් එතුමාගේ නිවසේ දී පවත්වන්නට සංවිධායකයෝ තීරණය කළහ.
ජපානයේ එන්එච්කේ ටෙලිවිෂන් ආයතනයේ පිරිසක් මෙහි ආයේ ආචාර්ය ආතර් සී. ක්ලාක්ගේ විශේෂ වැඩ සටහනක් සමග පැය දෙකක එච්ඩී විකාශනයක් ලොව පුරා විකාශය කරන්නටය. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ එය විකාශය කරන්නට ප්‍රංශයෙන් කණ්ඩායමක් පැමිණි සිටියේය. ඒ දෙගොල්ලන්ටම සහය වීමට අපේ ජාතික රූපවාහිනියෙන් තාක්ෂණික ශිල්පීන් පිරිසක් සමග එහි එවකට නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයකු වූ පියදාස රත්නසිංහ මහතා පැමිණ සිටියේය. මා එහි ගියේ ඔහුගේ ඇරයුම පරිදිය. ඒ සියලු දෙනා ම යුහුසුළුව කටයුතුවල යෙදුණු අතර ආචාර්ය ආතර් සී. ක්ලාක් රෝද පුටුවේ සිට ඒ දෙස බලා සිටියේය. මා එහි යන විට රත්නසිංහ මහතා ඔහු සමග කතා බහක යෙදී සිටියේය.
මා එහි ඇතුළු වනු දුටු රත්නසිංහ මහතා මට අතින් සන් කොට ඔහු වෙතට ගෙන්වා ගෙන කතා බහට එක්කර ගත්තේය. ආචාර්ය ආතර් සී. ක්ලාක් හමුවුහොත් අසන්නට බොහෝ කලක් තිස්සේ බලාහිටි පැනයක් අසන්නට මම ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගතිමි.
‘සර් මට කියන්න පුළුවන් ද ඔබ හිතන විධියට ගත වූ සියවස තුළ බිහි වූ උතුම්ම නිර්මාණය කුමක්ද?‘
එතුමා දුන්නේ අපූරු උත්තරයකි. “මං කියන්න කැමතියි, ඒත් ඒ ටෙලිවිෂනය නොවෙයි, ටෙලිෆෝනයයි. තව දශක දෙකක් යන කොට ටෙලිෆෝනය පුදුම තැනකට එනවා, ඔබට සමීප හැම දෙයක් ම උදුරා ගන්නවා. ඔරලෝසුව, ටෙලිවිෂනය, පොතපත ආදී මේ හැම දෙයක්ම එයාගෙ කර ගන්නවා. අපට මේ හැම දෙයක් ම බලන්න වෙන්නේ එයාගෙන්. මිනිසා සන්නිවේදන සත්වයෙක් ලෝකය විශ්ව ගම්මානයක් වූ පසු ඔහුගේ එකම සගයා වන්නේ ටෙලිෆෝනයයි“ එදා එතුමා කී දේ සැබෑ වී ඇති බව ඔබට ම වටපිට බැලුවාම තේරුම් ගන්න පුලුවන්. මේ අති ප්‍රබල ස්මාට්ෆෝනය හා එක්වූ සමාජ මාධ්‍ය මේ වන විට මිනිසාට හානි කරවන තැනට පත්වී තිබේ.
දැන් එළඹ ඇත්තේ ඩිජිටල් යුගයයි. මෙය සමාජ මාධ්‍ය වෙන් නොකළ හැකි තරමට අපේ ජීවිත හා බැඳී පවතින යුගයකි. මුහුණු පොත, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රැම්, ටික් ටොක්, යූ ටියුබ්, X (කලින් ට්විටර්), ටික් ටොක්, (Facebook, WhatsApp, Instagram, TikTok, YouTube, X) ආදී වේදිකා මගින් ලොව පුරා විසිරී සිටින බිලියන සංඛ්‍යාත ජනතාවක් අතර සබඳතා ජාලයක් දැන් ගොඩනඟා ගෙන තිබේ. ඒ අනුව වර්තමානයේ සන්නිවේදන ක්ෂේත්රයේ විශාල කාර්යභාරයක් ඉටු කරන්නේ සමාජ මාධ්‍ය බව අද අකමැත්තෙන් වුවද අපට පිළිගැනීමට සිදුවී තිබේ. 2024 දත්තවලට අනුව ශ්‍රී ලාංකිකයන්ගෙන් මිලියන 9.1ක්, එනම් කෝටියකට ආසන්න ප්‍රමාණයක්, ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් සියයට 42ක් සමාජ මාධ්‍ය භාවිත කරති.
2025 වසරේ මුල වන විට ශ්‍රී ලංකාවේ මිලියන 12.4ක දෙනා අන්තර්ජාලය පාවිච්චි කරති. මෙරට ජනගහනයෙන් සියයට 32.9ක් සමාජ මාධ්‍ය පාවිච්චි කරති. මිලියන 29.3ක් ජනයා ජංගම දුරකථන භාවිත කරති. එය රටේ මුළු ජනගහනයෙන් සියයට 127කි. මේ සියලුම දෙනාට ම ඉන්ටර්නෙට් සබඳතා නැත.
එදිනෙදා ලොව පුරා ගෝලිීය වශයෙන් සිදුවන අලුත්ම තොරතුරු හුවමාරු කර ගැනීම පමණක් නොව ඒවා විශ්ලේෂණය කර දැන ගන්නේ සමාජ මාධ්‍ය මගිනි. මේවා කොතරම් වේගවත් ද කීවොත් ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත් වැනි සන්නිවේදන මාධ්‍ය සිටින්නේ ඒවාට පසුපසිනි, එසේ වුවත් ආචාර ධර්ම මගින් පාලනය වන, වගකීම හා වගවීම අගයන, මෙතෙක් අපට සේවය කළ සුපුරුදු මාධ්‍ය මෙන් නොව මෙය කිසිම පාලනයකට යටත් නො වන නිසා මෙයින් සිදුවන අර්ථයට වඩා අනර්ථය විශාලය. සන්නිවේදන මෙවලමක් ලෙස මෙය අතිශය බලවත්ය. ඒ නිසා සමාජ මාධ්‍ය සන්නිවේදන සාගරය තුළ කිමිදෙන අය පරිස්සෙමින් හා අවබෝධයෙන් යුතුව ඒ කාර්යයේ නිතර විය යුතුය.
ශ්‍රී ලංකාවේ අපට සමාජ මාධ්‍ය උදා කර දී ඇති ප්‍රයෝජන අපමණය. ඉන් ස්වල්පයක් මෙසේ දැක්විය හැකිය. අසීමිතව අදහස්, දැනුම හා තොරතුරු හුවමාරු කර ගැනීම, ලොව කොතරම් දුරස්ථව සිටියත් සම අදහස් දරන්නන් එකම වේදිකාවකට එක් කර ගැනීම හා ඔවුන් සමග අදහස් හුවමාරු කර ගැනීම, විශේෂ අවස්ථාවලදී අධි වේගයෙන් සන්නිවේදන කටයුතු ඉටු කර ගැනීම ඉන් ප්‍රධානය. පුද්ගලික හා පවුලේ තොරතුරු හුවමාරුව, තම හැකියාවන් හා අධ්‍යාපනය වැඩි දියුණු කර ගැනීමට උදවු ලබා ගැනීම, තමන්ට අළෙවි කර ගතයුතු ඉතා සුළු දෙයකට හෝ ගැනුම්කරුවකු සොයා ගැනීම, තමන්ගේ කුඩා ව්‍යාපාරයකට අවශ්‍ය ප්‍රචාරය නොමිලයේ ලබා ගැනීම, ටියුෂන් පන්ති පැවත්වීම හා ඒවාට සහභාගි වීම, නිවසේ හාන්සි පුටුවකට වී හිඳිමින් ලොව පුරා ඕනෑම තැනක සංචාරයේ යෙදීම ආදිය ඉන් ලද හැකි තවත් ප්‍රයෝජන කීපයකි.
අපට සමාජ මාධ්‍ය උදා කර දී ඇති අවාසි සහගත තත්වයන් ගැන ද මෙහිදී අප අමතක නො කළ යුතුය. ඒවා ඇතැම් විට කෙතරම් අහිතකර ද කීවොත් මෙතෙක් අත් කර දී ඇති වාසි සියල්ල අබිබවා යන තරම් බිහිසුණු ය. එය අප ඉදිරියේ සමාජ මාධ්‍ය මවාපාන මායා ලෝකය අප පිස්සු වට්ටන තරම් ය. බැලූ බැල්මට මිනිසා සමීප කරවන බවක් පෙනුනත් සැබැවින්ම සිදු වන්නේ මිනිසා හුදෙකලා කිරීමකි. සමාජ මාධ්‍යවලට ආසක්ත වූ මානසික රෝගියකු බවට පත් කිරීමයි.
2023 ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වාර්තාවකට අනුව හෙළිවන්නේ අපේ තරුණ පරපුරෙන් තුනෙන් එකක් සමාජ මාධ්‍ය භාවිතය නිසා අගතියට පත්ව ඇති බවය. නිවසේ නිදන කාමරයේ සිට වුවත් ස්මාට් ෆෝනය ඔස්සේ සමාජ මාධ්‍ය පරිහරණය කරන යෞවනයකු තමන් වෙනත් අය සමග සන්සන්දනය කිරීමට යාමෙන් මානසික ආතතියට පත් විය හැකිය. ගෙදර අයගෙන් හුදෙකලා වෙන තරුණ දැරියක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නුසුදුසු ඇසුරකට පත්වී එයින් ම ඇගේ ජීවිතයට හානි සිදු විය හැකිය. එසේ ම සමාජ මාධ්‍ය අසුර නිසා ඊට ආසක්ත වූ තරුණි දැරියකගෙන් ස්මාට් ෆෝනය ඇගේ මව විසින් උදුරා ගැනීම නිසා ඇති වූ චිත්ත පීඩාව නිසා දිවි නසා ගත් පුවතක් ද පසුගිය දා වාර්තා විය.
ස්මාට්ෆෝනයෙන් ඔබ ගන්නා ‘සෙල්ෆිය‘ පවා ඔබව මුලා කරන්නකි. සෙල්ෆිය පෙන්වන්නේ ඔබේ සැබෑ ස්වරූපය නොවේ. එහි ඔබ කිසිදාක නුදුටු ලස්සනක් ඇත. මුහුණේ සාමාන්‍යයෙන් ඇති රැලි එහි නැත. ඒ නිසා සමහර කතුන් රූපලාවන්‍යාගාරවලට ගොස් සෙල්ෆියේ පෙනෙන විදියට තමාව මේකප් කරන්නැයි කියන්නේ ඒ නිසාය. ඇතැම් කාන්තාවෝ ප්ලාස්ටික් සැත්කම් පවා කර ගැනීමට පෙලඹෙති.
ව්‍යාජ පුවත් නිසා නොමග යාමෙන් සිදු කෙරෙන විපත් ද දැන් බහුල වී තිබේ. සමාජ මාධ්‍ය මෙතරම් ප්රබලව නොතිබුණු 2011 තරම් ඈත දී පවා අරාබි වසන්තය කියා ඇරඹුණු උද්ඝෝෂණය නිසා ටියුනීසියානු පාලක රජය බලයෙන් පහ කෙරිණ. අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පවා රාජ්‍ය බලය අත්හැරීමට සිදු වූයේ සමාජ මාධ්‍ය හරහා අවදි කරවනු ලැබූ සමාන අදහස් දරන්නන් එක් රැස් කළ මහා අරගලයක් මගින් බව ඔබට මතක ඇත. 2022 දී ආ ඉන්දියානු පුරවැසි පනතක් නිසා සමාජ මාධ්‍ය හරහා හුවමාරු වුණු ව්‍යාජ ප්‍රවෘත්තියක් නිසා සැණෙකින් කුපිත වුණු ජනයා නවදිල්ලි නගරයේ අරගලයක් දියත් කළහ. එයින් 100කට ආසන්න පිරිසක් මරණයට පත් වූහ. 1000කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
‘ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් මේ මොහොතේ සිට ම මකා දැමීමට හේතු දහයක්‘(Ten arguments for deleting your social media right now) යනුවෙන් පොතක් ලියන ජෝන් ලැනියර් (Jaron Lanier) කියන්නේ සමාජ මාධ්‍ය ගිණුම් පවත්වා ගෙන යාමට ඔබට සහය වන ගූගල්, ෆේස්බුක් වැනි සමාගම් ඔබව කෘත්‍රිම තාක්ෂණය මගින් ඔබව ඉත්තෙක් කර ගෙන ඔවුන්ගේ මඩි තර කර ගන්නා බවයි. ‘ගූගල්, ෆේස්බුක් වගේ සමාගම් මෙතෙක් ලෝකයේ බිහිවූ සාර්ථකම හා ධනවත්ම ව්‍යාපාරයි. සාපේක්ෂව ඔවුන්ට ඉන්නේ ඉතා අඩු සේවක පිරිසක්. ඒත් ඔවුන් කෘත්‍රිම තාක්ෂණයේ පිහිටෙන් බිලියන ගණනින් මුදල් ගරනවා දැවැන්ත පරිගණක යොදා ගෙන.‘ ඔහු කියයි
ගූගල් කියන්නේ තවදුරටත් සෙවුම් යන්ත්‍රයක් නෙවෙයි. තනි වචනයකින් එය හැඳින්විය නොහැකියි. ඔබව හසුරුවන ඔබේ ජීවිතයට විශාල බලපෑමක් කරන පුදුමාකාර මායාකාරයෙක්. මහා බලසම්පන්න ඉන්ද්‍රජාලිකයෙක්. ‘ඔහු‘ ඔබේ ආරක්ෂාවට කියා පාස්වර්ඩ් එකක් හෙවත් මුරපදයක් ඔබට ම දෙන්න කියයි. ඊමේල් ලිපිනයක් ඔබටම හදා ගන්න කියයි. ඊට පස්සේ ඒ අනුව, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් ඔබ ඒ හරහා බලන, කියන, කරන දෑ, ඔබේ රුචි අරුචිකම් ආදිය අනුව ඔබේ සම රූපයක් තනා ගනියි. ඔබ අන්තර්ජාලයට එක් වන හැම මොහොතක දී ම ගූගල් කරන්නේ අර සම රූපය කූද්දා ගෙන එය කරන දෑ අනුව ඔබව මෙහෙය වීමයි. උදාහරණයක් වශයෙන් ඔබට අන්තර්ජාලයට පිවිස යමක් විමසන්නට වදනක් දෙකක් යතුරු ලියනයෙන් ටයිප් කරන විට ඔබ අසන්නට බලාපොරෙත්තු වන ප්රශ්නය පහතින් ප්‍රදර්ශනය කරයි. ඔබට කරන්න තියෙන්නේ එය ක්ලික් කර ඉදිරියට යාමයි. ඔබ වෙනස් දෙයක් ඉල්ලුවොත් එය ඒ ඔබමදැයි සත්‍යාපනය කර බලයි. ඔබේ ඊමේල් ලිපිනය හා මුරපදය නැවත ඉල්ලයි. මතක නැත්නම් මතක් කර ගැනීමට ඉඟි දෙයි. මේ සියල්ල කරන්නේ ඔබව එයාගේ ‘යූසර්‘ ගොනුවේ තියා ගන්නටයි.
යූ ටියුබ් වේදිකාවට ඔබ ගොඩ වී ඇවිස්සෙනසුලු සිරස්තල හෝ වෛරී ප්‍රකාශන ඇති ඒවා තෝරා බලන්නට පටන් ගන්න. ඊළඟට පෝලිමේ එන්නේ ඒවාය. මෙය කෘත්‍රිම තාක්ෂණය සිදු කෙරෙන්නෙකි. එසේ ම ඔබට කෙතරම් සිත්ගත් දෙයක් වුනත්, වෛරී ප්රකාශනයක් හෝ යමකුට අපහාස සඳහා කර නිර්මාණයක් හෝ ශෙයා කරන්න එපා. අද පවතින නීතිය යටතේ ඔබටත් සිරදඬුවම් විඳින්නට සිදු වේවි.
අද සමාජ මාධ්‍ය මුළු ලෝකය ම වෙළා ගෙන ඇත. එයින් ඈත්ව සිටීමට ඔබට පමණක් කළ නො හැකිය. ඒ නිසා එයට මුහුණදීමට සිදු වීම අනිවාර්යය. ඒ නිසා සමාජ මාධ්‍යවලින් ඔබට එල්ල වෙන ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට නම් ඒ පිළිබඳව හොඳින් අවබෝධ කර ගත යුතුය.
දිනපතා සමාජ මාධ්‍ය පාවිච්චි කිරීමට කාල සීමා නියම කර ගන්න. එහි එන වාර්තා බෙදා ගැනීමට පෙර හොඳින් සැලකිලිමත් වන්න. වෛරී පණිවිඩවලට සහභාගි නොවන්න. විව්ස් වැඩි කර ගැනීමට යොදන ව්‍යාජ සිරස්තලවලට හසු නොවන්න. ඔබේ නිදහස් කාලය ‘ඔන්ලයින්‘^online& වෙනුවට ‘ඕෆ්ලයින්‘^offline& ගත කරන්න පුරුදු වෙන්න. නිවැරදි සමාජ මාධ්‍ය ආකල්ප ගැන හොඳින් ඉගෙන ගන්න. උදේට හා රාත්‍රියට ආහාර ගැනීමේ දී පවුලේ අය සමග එකට එක්වීම පුරුද්දක් කර ගන්න. ඒ කාලය තුළ ඔබ හැමදෙනාගේම ස්මාට් ෆෝන සම්පූර්ණයෙන් ඕෆ් කර තබන්න. පවුලේ සතුටු සාමීචියට ඉඩ සලසා ගන්න. අවසාන වශයෙන් නිදන කාමරයට ඔබේ ස්මාට් ෆෝනය කිසිවිටෙකත් වැද නොගන්න. එවිට ඔබට ස්මාට් ෆෝනය හා සාමාජ මාධ්‍ය ඇබ්බැහියෙන් මිදීමට පුළුවන.
ඔබ සමාජ මාධ්‍ය හා සම්බන්ධ වෙන ස්මාට් ෆෝනය අතට ගන්නා හැම විට ම ඔබ සිතට නගා ගතයුතු දෙයක් තිබේ. ‘මේ උපකරණය ඔබ අතට පත් වූ ගිනි පුපුරකි. එයින් ඔබට ආලෝකයක් දැල්විය හැකිය. එහි අවදානමක් ද තිබේ. අවදානම එල්ල වන්නේ සමාජ මාධ්‍යවලට මත පළ කරන වීඩියෝ ඇතුළත් කරන අයගෙනි. ඒ නිසා මෙහි එන කිසිම උගුලකට හසු නොවෙමි. කිසිම විටෙක ඔවුන්ගේ ඉත්තෙකු නොවෙමි.‘ යනුවෙන් තිර අදිටනක් ඇති කර ගැනීමෙන් ඔබට ඉන් වන හානියෙන් මඳක් හෝ වළකා ගත හැකිය.
- පර්සි ජයමාන්න
0 Comments